Accessibility Tools

moj logo

Open menu

නීතිය පාලකයාටත්, දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත්, සාමාන්‍ය පුරවැසියාටත් එකයි යන්න මතක තබාගත යුතුයි.  -----    අධිකරණ ඇමති පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බදවා ගත් 265 දෙනෙකුගෙන් සමන්විත 13 වන ආධුනික දෙවන පෙළ ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.

ආධුනික නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවය සහ පෙළපාලිය අගුණකොලපැලැස්ස බන්ධනාගාර පුහුණු ආයතන ක්‍රිඩාංගණයේ අද (19) පෙරවරුවේ පැවති අතර, එහිදී  ආධුනික ජේලර් නිලධාරීන් 37 දෙනෙකු, ආධුනික කාන්තා නිලධාරීන් 05 දෙනෙකු, ආධුනික නියාමක නිලධාරීන් 197 දෙනෙකු, කාන්තා නියාමක නිලධාරීන් 25 දෙනෙකු  විසිරයාම සිදු විණි.

විසිරයාමේ පෙළපාලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආධුනික ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන් අමතමින් අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා .........
ගෞරවනීය රාජ්‍ය සේවයට එක්වන ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. තම පුතා දියණිය බන්ධනාගාර සේවයට ඉදිරිපත් කිරීම පිළිබදව දෙමාපියන් වන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ පවුලටත් ඔබටත් ගෞරවයක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම වගකීමක් බව මතක තබා ගත යුතුයි. බන්ධනාගාර නිලධාරියෙකු කියන්නේ කවුද? සිරකරුවෙකුගේ පිටුපසින් ගොස් දොර වසා, අගුළු දමා ආරක්ෂාව බලාගන්නා පුද්ගලයෙකු පමණක්ද? නැහැ. ඊට වඩා විශාල වගකීමක් බන්ධනාගාර නිලධාරියෙකු ලෙස ඔබ භාරගන්නවා.
ඔබ නීතිය සහ මනුෂ්‍යත්වය අතර සිටින රැකවලුන් නිසාවෙන් ඔබ ඉදිරියේ සිටින පුද්ගලයා නීතියක් උල්ලංඝනය කර තිබෙන්න පුළුවන්. ඒ තැනැත්තා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ඒ නිසා ඒ පුද්ගලයා මනුෂ්‍යයෙකු වීම නතර වෙන්නේ නැහැ. සමාජයෙන් ඈත්ව සිටින, වැරදි මාර්ගයකට ගිය, ජීවිතයේ යම් අවස්ථාවක වැරදි තීරණයක් ගත් පුද්ගලයෙකුට නැවත යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලබාදීමත් බන්ධනාගාර සේවයේ වගකීමක්. ඒ අවස්ථාව අද ඔබට ලැබෙනවා. 
පුද්ගලයන් යහමගට ගැනීමට නීත්‍යානුකූල බලය ලැබෙන්නේ සමාජයේ සීමිත පිරිසකට පමණයි. ඒ නිසා ඔබේ රාජකාරිය දකින්නේ “මුරකිරීම” පමණක් නොවෙයි. මනුෂ්‍යයෙකුගේ ජීවිතය නැවත යහපත් මාර්ගයකට යොමු කිරීමට සහය වන්නකු ලෙසයි. ඔබේ වෘත්තියේ සැබෑ අභිමානය තියෙන්නේ එතැනයි. රාජ්‍ය සේවයේ සිටින අප හැමෝම මතක තබාගත යුතු මූලික කරුණක් තිබෙනවා. නීතිය කාටත් එක හා සමානයි. පාලකයාටත් එකයි. දේශපාලනඥයාටත් එකයි. රාජ්‍ය නිලධාරියාටත් එකයි. සාමාන්‍ය පුරවැසියාටත් එකයි.

නීතියේ ආධිපත්‍යය කියන්නේ බලය තිබෙන පුද්ගලයාට වෙනම නීතියකුත්, බලය නැති පුද්ගලයාට වෙනම නීතියකුත් තිබීම නොවෙයි. සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වීමයි. එම විශ්වාසය රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගන මූලික පදනමක්. ඒ නිසා ඔබට අවශ්‍ය වන්නේ දේශපාලන සම්බන්ධතාවයක් නොවෙයි. බලපෑමක් නොවෙයි.

ඔබට අවශ්‍ය වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය හා  ඔබේ රාජකාරිය පිළිබඳ අවංකභාවයයි.  ඔබ අද භාරගන්නා නිල ඇඳුම ඒ වගකීමේ සංකේතයක්. අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපරාධයක් සිදුවූ විට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය අත්‍යවශ්‍යයි. නමුත් දඬුවමෙන් පමණක් සමාජයක අපරාධ ප්‍රශ්නය විසඳන්න බැහැ. බන්ධනාගාර ප්‍රතිපත්තිය දඬුවමෙන් අවසන් නොවී නිවැරදි කිරීම, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම දක්වා ගමන් කළ යුතුයි.‍ යමෙක් බන්ධනාගාර ගතවන්නේ තමන්ගේ වැරැද්දක් පමණක්ම නොව දීර්ඝ කාලයක් සමාජ ආර්ථික පද්ධතියේ පැවති පැවති  වැරැද්දක් නිසා. සමාජය වෙනස් නොකර අපට බන්ධනාගාර පමණක් පාරිශුද්ධ ස්ථාන කරන්න බැහැ. 

‍බන්ධනාගාරයෙන් පිටවන පුද්ගලයා නැවතත් අපරාධයකට යොමු වන තත්ත්වයකට පත් කරනවා වෙනුවට, ඔහුට නැවත ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය හැකියාව ලබාදීම වැදගත් වෙනවා.
රැඳවියන් සඳහා NVQ සුදුසුකම් ලබාගත හැකි වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී  තිබෙනවා. රැකියා අවස්ථා ලබාදීම සඳහා පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමත්, ස්වයං ආදායම් මාර්ග ඇති කිරීමට අවස්ථා සැලසීමත් ආරම්භ කර තිබෙනවා.
රැඳවියන්ගේ සැඟවුණු හැකියාවන් හඳුනාගෙන ඒවා ඉදිරියට ගෙන ඒම සඳහා විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙනවා. අප ඉදිරියේ තිබෙන අභියෝගයක් තමයි බන්ධනාගාර තදබදය. තදබදය කියන්නේ බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තිබෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. එය රැඳවියන්ගේ මානව ගෞරවයට බලපානවා. ඔවුන්ගේ සෞඛ්‍යයට බලපානවා. නිලධාරීන්ගේ ආරක්ෂාවට බලපානවා. රාජකාරියේ ගුණාත්මකභාවයටත් බලපානවා. ඒ නිසා මේ ප්‍රශ්නයට එකම විසඳුමක් නැහැ. විවිධ පැතිවලින් එකවර කටයුතු කරන්න සිදුවෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා සතු සමාව දීමේ බලතල, පූර්වාදර්ශ සහ නීතිමය රාමු සමාලෝචනය කරනවා.

ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කර දඬුවම් දීමට වඩා වැරදිකරුවන් නැවත සමාජගත කිරීම සහ පුනරුත්ථාපනය කිරීම (Reintegration & Rehabilitation) කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත්වී තිබෙනවා. නව බන්ධනාගාර පහසුකම් ඉදිකිරීම, පවතින බන්ධනාගාර පුළුල් කිරීම සහ අවශ්‍ය තාවකාලික පහසුකම් සංවර්ධනය කිරීම ඒ අතර තිබෙනවා.

ඔබගෙන් අපි අවංකභාවය බලාපොරොත්තු වෙනවා. විනය බලාපොරොත්තු වෙනවා. නීතියට ගරු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට සාධාරණ සේවා පරිසරයක් ලබාදීමත් අපේ වගකීමක්. ඔබට අවශ්‍ය කාර්ය මණ්ඩලය තිබිය යුතුයි. වෘත්තීය ප්‍රගමනයට අවස්ථාව තිබිය යුතුයි. සුබසාධනය ආරක්ෂා විය යුතුයි.

105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර නියාමක නිලධාරීයා වශයෙන් E.R. රසික සුමේධ, සෑම අතින්ම අතිශූර නියාමක නිලධාරිනිය ලෙස H. කවිෂා දේවින්දි, සෑම අතින්ම අතිශූර දෙවන පෙළ ජෙලර් ලෙස E.R.R. අවිශ්ක බණ්ඩාර යන නිලධාරීන් අමාත්‍යතුමා අතින් සම්මාන ලබා ගන්නා ලදී.සරඹ සංදර්ශනය, සංස්කෘතික සංදර්ශන වැනි අංග වලින් උත්සවය වර්ණවත් වී තිබුණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර අධිකාරිවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන්, හිටපු බන්ධනාගාර කොමසාරිස්වරුන්, ආධුනික ජෙලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ දෙමාපියන් සහ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026