Accessibility Tools

moj logo

Open menu

නීති ගරුක සහ ශික්ෂිත පරපුරක් නිර්මාණය උදෙසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ප්‍රවර්ධනයට රජයේ පූර්ණ සහය -  මොරටුව වේල්ස් කුමර සහ කුමරි විද්‍යාලවල 150 වන සංවත්සර සැමරුම් උත්සවයේදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

 සියවස්  එකහමාරක ඓතිහාසික ආචාරධර්මීය සහ නීතිමය උරුමයකට හිමිකම් කියන පාසල් පද්ධතිය තුළින් විනයගරුක, ශික්ෂිත මෙන්ම රටේ නීතියට ගරු කරන අනාගත පරපුරක් බිහිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

 මොරටුව වේල්ස් කුමර හා කුමරි විද්‍යාලවල 150 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2026 සැප්තැම්බර් 14 වන දින මොරටුව වේල්ස් කුමර විද්‍යාල පරිශ්‍රයේදී පැවැති උත්සවයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 1876 වසරේදී ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ දූරදර්ශී සංකල්පයකට අනුව ආරම්භ වූ මෙම විද්‍යාල ද්විත්වය, වසර 150ක අභිමානවත් ඉතිහාසය තුළ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරුන්, ප්‍රමුඛ පෙළේ නීතිඥවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයින් රටට දායාද කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 මෙහිදී අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

 "වසර 150ක කාලයක් පුරා මෙම විද්‍යාල තුළින් බිහිවූ ශූරයින් සහ උගතුන් මෙරට අධිකරණ ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මහා වෘක්ෂයන් ලෙස සේවය කර තිබෙනවා. හිටපු අග්‍ර විනිශ්චයකාරවරුන් ඇතුළු නීතිවේදීන් රැසක් බිහිකළ මෙම පරිශ්‍රය තුළ සිට ඒ ආදර්ශවත් අතීතය සිහිපත් කිරීමට ලැබීම ගෞරවයක්. කිසිදු කාර්යයක් එකවර ක්ෂණිකව සාක්ෂාත් කරගත නොහැකි බවත්, අඛණ්ඩ කැපවීම සහ සාමූහික උත්සාහය තුළින් පමණක් ජයග්‍රහණය කරා ළඟා විය හැකි බවත් මෙම විද්‍යාලයන්හි තේමා පාඨය අපට මතක් කර දෙනවා. නීතිගරුක සහ යුක්තිගරුක සමාජයක් ගොඩනැගීමේ පදනම වැටෙන්නේ මෙවැනි විනය ගරුක පාසල් පරිසරයක් තුළිනුයි."

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අදහස් දක්වමින්, අධ්‍යාපනයට සිදුකරන ආයෝජන ඔස්සේ සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි අනාගත නායකයින් බිහි කරන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව පැවසුවාය.

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ,

 "අප රජයක් හැටියට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මානව සම්පත් දියුණු කරන්න. ඒ වෙනුවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල අයවැයෙන් අයවැයට වැඩි කරමින් යනවා. අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ පවතින සමාජය තේරුම් ගෙන, සමාජය ගුණාත්මක මගකට හැරවීම සඳහා නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහිකිරීමයි."

මෙම 150 වන සංවත්සර සැමරුම සලකුණු කරමින් නිකුත් කළ සමරු මුද්දරය, මුල් දින කවරය සහ සමරු කලාපය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.

 මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා, වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති කපිතාන් වසන්ත කුමාර වඩුගේ මහතා, වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පතිනී තිළිණි විජේවීර මහත්මිය ඇතුළු අධිකරණ හා අධ්‍යාපන අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආදි සිසු-සිසුවියන්, ගුරු මණ්ඩලය සහ සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ.

FaLang translation system by Faboba

කතුහිමිකම © 2026 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය Procons Infotech.

Sri Lanka 44.9% Sri Lanka
China 22.6% China
Singapore 15.4% Singapore
United States of America 7.5% United States of America
United Kingdom of Great Britain and Northern Ireland 2.5% United Kingdom of Great Britain and Northern Ireland

Total:

121

Countries
073218
Today: 1,483
This Week: 5,297
This Month: 25,728
This Year: 73,163

Last Modified:
08 January 2026