අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රත්නපුර අධිකරණ නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ එම අධිකරණ සංකීර්ණයේ පිහිටි නීතිඥ පුස්තකාලයේදී පැවැත්විණි.
අධිකරණ කටයුතු පවත්වාගෙන යාමේදී පවතින ගැටළු සහ නීතීඥයින්ට සිය වෘත්තිය සිදු කිරීමේදී මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර, ඉදිරිපත් කරන ලද ගැටළු සඳහා එකින් එක විසඳුම් ලබා ගත හැකි ආකාරය අධිකරණ අමාත්‍යතුමා විසින් පැහැදිලි කරන ලදී.
නීතිඥ සංගමයේ නියෝජිතයින් විසින් ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.
“ අධිකරණ පද්ධතියේ පවතින්නේ වසර දෙක තුනක සිට පවතින ගැටළු නොවෙයි. ඒවා වසර පහළොවක පමණ සිට පවතින ගැටළු බව සඳහන් කළ යුතුයි. වත්මන් රජය බලයට පත් වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අනුමත පුරප්පාඩු හය දහසකට වඩා තිබුණා. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් බඳවා ගැනීම් සිදු කර තිබුණේ නැහැ. එහෙත් මේ වන විට එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් දෙදහසකට වඩා සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ වගකීම වන්නේ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමයි ”
“ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු අගවිනිසුරුතුමාගේ මුලිකත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණය අධිකරණ වෙත ලබා දිය යුතුයි. මෙම අධිකරණයේ විනිසුරුතුමන්ලා මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ලඝු ලේඛක කටයුතු වෙනුවෙන් පවතින පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගැනීම් සිදු කරන අතර, ලඝු ලේඛක කටයුතු කටයුතු තාක්ෂණය හරහා සිදු කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව යෙදුමක් සම්පාදනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා ” පුරප්පාඩුව පවතින ලඝු ලේඛක බඳවා ගැනීමේ කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සහ කාර්යාල කාර්ය සහාකයින් බඳවා ගැනීම අධිකරණ අමාත්‍යාංශය විසින් සිදු කරමින් පවතින බවත්, සියලු ගැටළු වෙනුවෙන් අවශ්‍ය විසඳුම් ලබාදීමට අවධානය යොමු කරන බවත්, අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
රත්නපුර අධිකරණයේ පවතින සේවක පුරප්පාඩු, දිසා අධිකරණය සඳහා කාර්යාල උපකරණ ලබා ගැනීම, සාක්ෂි මෙහෙයවීමේදී තාක්ෂණික උපකරණ ලබා ගැනීම, නීතිඥ කාර්යාල සංකීර්ණයේ ඉදි කිරීම් සහ දිසා අධිකරණයට වර්ණ ඡායාරූප යන්ත්‍රයක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ අතර, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ණය සහන මණ්ඩලයේ කාර්යාලයක් ලබාදීමට සලකා බලන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් සිදු කළ අතර, ඒ සඳහා විධිමත් පරිදි ඉල්ලීමක් අමාත්‍යාංශය වෙත යොමු කරන මෙන් අමාත්‍යතුමා සඳහන් කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න, රත්නපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, එස්.ජී.සේනාරත්න, එම නීතිඥ සංගමයේ ලේකම්, නීතිඥ රත්නමලල බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, රත්නපුර නීතිඥ සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.








