2025 දෙසැම්බර් 31 විට අතුරුදහන් වු තැනැත්තන් පිළිබද පැමිණිලි විමර්ශන අවසන්....
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය විසින් සංවිධානය කරන ලද අදාළ පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කර මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව සදහා අද (21) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

පසුගිය දශක හතරක පහක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද අප අත්විඳින ලද ඉතා අවාසනාවන්ත අත්දැකීම් වලින් පසුව 1971 කැරැල්ලේදී 12,000 ක් පමණ මිය ගියා. 1989 ජේ.වී.පී. විසින් ඇති කළ භීෂණ තත්වය හේතුවෙන් දකුණේ 60,000 ක් ඝාතනයක වුණා. කොටි ත්‍රස්තවාදී යුද්ධය දශක තුනක් පැවතුනා. ඒ හේතුවෙන් මරණ 60,000 ක් සිදු වුණා. අපේ වගේ පුංචි රටක ඒක දරාගන්නට බැහැ.

කවුරුන් ඝාතනය කළත් අතුරුදහන් වූවත් ඔවුන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හෝ බර්ගර් කුමන ජාතියකට අයත් වුවත් එය වැදගත් නැහැ. එසේ ඝාතනය වු ඔහු හෝ ඇය ශ්‍රී ලාංකික පුරවැසියන් බව කිව යුතුයි. 2016 වසරේදී අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාල පනත විපක්ෂයේ දැඩි විරෝධයත් එක්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම පනත අනුව අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය ස්ථාපිත කළා.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයේ පසුගිය කාලයේ කාර්ය සාධනය ගැන සතුටු වෙන්න බැහැ. මා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් පසු විමර්ශන දත්ත පරීක්ෂා කළා. විමර්ශන සිදු කර තිබුණේ පැමිණිලි 62 ක පමණයි. එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අපි කාර්යාලයට උපදෙස් ලබා දුන්නා.

අතුරුදහන් වු තැනැත්තන් නොසිටියත්, අඩුම තරමින් එම පුද්ගලයාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන්ට අයිතියක් තිබෙනවා. එම කාර්යාලය තුළ මේ වන විට පවතින පැමිණිලි 14,700 න් පැමිණිලි 5600 ක පමණ විමර්ශන සිදු කර තිබෙනවා. එම තත්වය සතුටුදායකයි .නමුත් තවමත් අප සෑහීමකට පත් විමේ හැකියාවක් නැහැ. විමර්ශනය කිරීම සදහා කාල රාමුවක් අපි සකස් කළා.

ඒ අනුව 2025 දෙසැම්බර් 31 විට ලැබී ඇති සියලු පැමිණිලි පිළිබදව විමර්ශන අවසන් කළ යුතුයි. විමර්ශනය සිදු කරන ලද පැමිණිලි වලින් ඔවුන් සැලකිය යුතු ලිපිගොනු ප්‍රමාණයක් හෝ හානිපූර්ණ කාර්යාලය වෙත යොමු කර තිබෙනවා.

ජාතීන් අතර ගැටුම් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා අපගේ උපරිම ප්‍රමුඛතාවය දීය යුතුයි. ඒ නිසා අප ජාතික එකමුතු හා සංහිඳියා කාර්යාලය ආයතනයක් වශයෙන් ස්ථාපිත කලා.

අපි රට පුරා ග්‍රාම සේවා වසම් 14,000 ම ආවරණය වන පරිදි ජාතික සංහිදියා කමිටු ස්ථාපිත කිරීම ආරම්භ කළා. අපි දැනටමත් ග්‍රාමසේවා වසම් 11,000 ක එම කමිටු පිහිටුවා තිබෙනවා. අපේ ඉලක්කය විය යුත්තේ කිසියම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතිවීම හෝ රට තුළ පුද්ගලයන් අතුරුදහන් වීම වැළැක්වීමයි.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබද විමර්ශන කිරීමේ ක්‍රමවේදවල භාවිතයන් ඒ සදහා පවතින අභියෝග සහ විමර්ශන සිදු කිරීමේ නව ක්‍රමවේද පිළිබදව අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයින් සහ ප්‍රවීණයන් දැනුවත් කිරීම, අදහස් හුවමාරු කිරීම මෙහිදී සිදු විය.
2016 අංක 14 දරණ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය පනතට අනුව 2016 පෙබරවාරි 28 වන දින මෙම කාර්යාලය ස්ථාපිත කර ඇති අතර, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති නීතිඥ, මහේෂ් කටුලන්ද, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයේ විධායක අධ්‍යක්ෂක ජේ.තත්පරන්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ Ynske Vandrmael යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළේය.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය සදහා යොමු කර ඇති අතුරුදහන් වු තැනැත්තන් පිළිබද වු පැමිණිලි විමර්ශන අවසන් කිරීම සදහා අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව 2025 දෙසැම්බර් මස 31 වන දින වන විට විමර්ශන සියලු විමර්ශන අවසන් කර වන්දි ලබාදීම නියමිතව තිබේ.

moj meeting 03 21 img 01 moj meeting 03 21 img 02

moj meeting 03 21 img 03 moj meeting 03 21 img 04