ඉදි කරමින් පවතින ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් සැපයීම පිළිබදව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ,ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මේ වන විට ගාල්ල නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු සීයයට 90 ක් පමණ අවසන් කර ඇති අතර, අධිකරණ සංකීර්ණය විවෘත කිරීමට පෙර ඊට අදාළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබදව මෙම සාකච්ඡාවේදි අවධානය යොමු විය.

ගාල්ල අධිකරණ සංකීර්ණ නීතීඥයින් සදහා නව කාර්යාල සංකීර්ණ ඉදි කිරීම වෙනුවෙන් නව ඉඩමක් ලබාදීම, අධිකරණ කටයුතු සදහා පැමිණෙන ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු . ගමගේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් වුහ.

මහල් 4 කින් සමන්විතව ඉදි කරනු ලබන ගාල්ල නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සදහා රුපියල් මිලියන 1200 ක මුදලක් වෙන් කර තිබේ.

moj meeting 03 20 img 2 moj meeting 03 20 img 3